Get Adobe Flash player

අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබීම - ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය

ගර්භණී භාවයට පත්වීමත් සමග බොහොමයක් කාන්තාවන්ගේ රුධිර පීඩනයේ වැඩි වීමක් පෙන්වන බව අපට නිතරම අසන්නට ලැබෙන කරුණක්. එවැනි අවස්තාවකදී නිසි ලෙස කායික රෝග වෛද්‍යවරයකුගේ උපදෙස් මත ඔබ රුධිර පීඩනය පාලනය නොකලොත් භායනක ප්‍රතිඵල ඇතිවිය හැකියි. එම තත්වය තවත් දරුණු වන්නේ අධික රුධිර පීඩනය සමග මුත්‍ර වල ප්‍රෝටීන් තිබෙන තත්වය ඇති වූ විටයි. මෙය ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය ලෙස හඳුන්වනවා. ඔබ ඒ ගැන දැනුවත් විය යුතුමයි...

 ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය යනු කුමක්ද?

ඉහත සඳහන් කල පරිදි අධික රුධිර පීඩනය සහ මුත්‍රවල ප්‍රෝටීන් තිබෙන අවස්ථාවේ අපි ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය ලෙස හඳුනා ගන්නවා... මෙහි ඇති භයානකත්වය වන්නේ, ඒ සමගම ඔබේ අක්මාව සහ වකුගඩු වල සංකුලතා ඇතිවිය හැකි අතර නොනවත්වා ඇතිවන හිසරදය, ඇස් පෙනීමේ වෙනස්කම් ආදියත් ඇතිවිය හැකිනිසායි. සාමාන්‍යයෙන් ගර්භණී මවුවරුන්ගෙන් 5% පමණ මෙම තත්වයට මුහුණ දෙන අතර සති 37න් පසු මෙම ලක්ෂණ දැකීමට පුළුවන්. නමුත් එයට පෙර මෙම ලක්ෂණ මතුවන අවස්ථාද තිබේ. එම නිසා සති 20 පමණ සිට මේ පිලිබඳ අවධානයෙන් සිටින්න. ඒ වගේම සමහර විට ගර්භාෂය තුල ගැටිත්තක් ලෙස සිදුවන අසාමාන්‍ය වර්ධනයක් නිසා මුල්කාලයේ සිටම මෙම තත්වය ඇති විය හැක. (මෙය Molar Pregnancy ලෙස හඳුන්වයි, මන්දයත් ඔබට ගර්භණී භාවයේ ලක්ෂණ මෙය නිසාද මතුවන නිසා! - නමුත් එය සැබෑ දරු උපතක් බවට පත්වන්නේ නැහැ)

ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වයෙහි ලක්ෂණ මොනවාද?

මෙම තත්වය එක වරම අනපේක්ෂිත ලෙස ඇති විය හැක. ගර්භනී සමයේ මැද කාලයට පැමිණි විට ඔබේ ඇස අවට, අත් වල, කකුල්/විලුඹ අවට අසාමාන්‍ය ලෙස ඉදමීමක් හෝ "පිපීමක්" ඇතිවනවාද යන්න පිළිබඳව අවධානයෙන් සිටින්න. ඒ සමගම එකම සතියක් තුල බර කිලෝ 2.5කින් පමණ එකවරම ඉහල යන්නේද බලන්න (එයට හේතුව ඔබේ ශරීර පටක තුල ජලය එක්රැස් වීමයි). මීට අමතරව තත්වය දරුණු වූ විට ඔබට දැඩි හිසරදය, ඇස් පෙනීම බොඳවීම, චායාවන් දෙකක් පෙනීම, ඇස් ඉදිරියේ ගිනි පුපුරු (තරු)/අකුණු ගසනවා ලෙස පෙනීම, ආලෝකය දෙස බැලීමට අපහසුතාව, එකවරම මොහොතකට කිසිවක් නොපෙනී යාම, උදරයේ ඉහල කොටසේ දැඩි වේදනාව සමග වමනය/හිස කරකැවිල්ල ආදිය දැකිය හැකියි. මෙම දරුණු ලක්ෂණ පෙන්වන්නේ නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වන්න.

ප්‍රි-එක්ලැම්ප්සියා තත්ත්වය නිසා මවටත් දරුවාටත් ඇතිවන බලපෑම් මොනවාද?

මෙම තත්වය සාමාන්‍යයෙන් ගර්භනී සමයේ අවසාන කාලයේදී ඇතිවන අතර නිසි ලෙස ප්‍රතිකාර සහ වෛද්‍ය අධීක්ෂණය යටතේ තැබීමෙන් ගැටළු අවම දරු උපතක් සිදු කල හැක. නමුත් මෙම තත්වය අසාධ්‍ය වන්නේ නම් ඔබේ වැදගත් ඉන්ද්‍රියයන් රැසකට ගැටළු ඇති විය හැක. මෙම තත්වය නිසා ඔබේ අක්මාව, වකුගඩු සහ මොලයට ලැබෙන රුධිර ප්‍රමාණය පහල යයි. එවිට එම ඉන්ද්‍රියයන්ගේ ක්‍රියාකාරිත්වය අඩාළ වේ. ඔබේ දරු ගැබටත් එමගින් හානි සිදුවිය හැක. මන්දයත් අඩු වන ලේ ගමනාගමනය නිසා ඇම්නියන තරලයේ අඩුවීමක්, වැදෑමහ දරු උපතට පෙරම ගර්භාෂයෙන් ගැලවී යාමක් ආදිය සිදුවිය හැක. එවැනි තත්වයක් නිසා දරුවා නිසි කාලයට පෙර බිහි කිරීමට සිදුවේ. එහි ඇති අවදානම් තත්වය සාමාන්‍ය දරු උපතකට වඩා බොහෝ වැඩිය. ඒ සමගම ඔබේ විලුඹ ප්‍රදේශයේ ඉඩමුම් වැඩි වීම දැකිය හැකිය. මෙය සිදුවන්නේ රුධිර නාල වලින් ඔබේ අනෙකුත් මාංශ පේශි අතර පටක වලට තරලයක් ගලා එම නිසාය. ප්‍රි-එක්ලැම්ප්සියා තත්වයෙන් පීඩා විඳි මවු වරුන්ගේ එම ලක්ෂණ දරු උපතින් පසු බොහෝ විට මග හැරී යන නමුත් මෙම තත්වයට ලක් වූ මවුවරුන් පසු කාලයේදී වෙනත් හදවත් සහ ආශ්‍රිත රෝග වලට (දිගින් දිගටම පවතින අධි රුධිර පීඩනය, ආඝාතය හෝ හදවත අකර්මන්‍ය වීම) මුහුණ පෑමේ අවදානම ඉහල යයි.

මෙම තත්වය ඇතිවීමේ අවදානම වැඩිවන්නේ කෙසේද?

ගැබ් ගැනීමටත් පෙර සිටම ඔබට අධික රුධිර පීඩනය තත්වය තිබුනේ නම්, ලේ කැටි ගැසීම වැඩිවන ලෙඩ රෝග, දියවැඩියාව, වකුගඩු ආබාධ, ප්‍රතිශක්ති අසාමාන්‍යතා ආස්දිය මෙම තත්වය ඇති වීමේ ඉඩ කඩ වැඩි කිරීමට ඉවහල් වෙයි. එසේම ඔබේ පවුලේ කිට්ටු නෑයකු මෙම තත්වයට මුහුණ දුන්නේ නම්, ඔබේ බර සාමාන්‍ය තත්වයට වඩා වැඩිනම්, වයස 40ට වැඩිනම් සහ නිවුන් දරු උපතකදී ද මෙම අවදානම ඉහල යයි.

ප්‍රී-එක්ලැම්ප්සියා තත්වය ඇතිවිට කුමක් කරනු ඇත්ද?

ඔබේ දරු ගැබට සති 37 පිරි ඇතිනම්, ගැබ්ගෙල විශාල වීමට ආරම්භ වී ඇති නම් සහ වෙනත් අවදානම් ලක්ෂණ නොමැති නම්, බොහෝවිට වෛද්‍යවරුන් ඔබේ දරු උපත ඉක්මන් කරවන බෙහෙත් නියම කර දරු උපත සිදු කරවීමට උත්සහ කරනු ඇත. එසේ නොමැතිනම් සිසේරියන් සැත්කමක් මගින් දරුවා පිටතට ගැනීමද සිදුවේ. නමුත් ඔබට සති 37 පිරි නොමැති නම් සහ දරුවාට තර්ජනයක් නොපෙනේ නම් වෛද්‍යවරයා ඔබට නිසි තත්වය පාලනය කරන බෙහෙත් නියම කර ප්‍රවේසම් වීමට නිසි උපදෙස් දෙනු ඇත. එවිට ඔබ ඇඳ විවේකය වැඩියෙන් ලබා ගත යුතුය. ඔබේ රුධිර පීඩනය ඉතා ඉහල ගොස් ප්‍රී-එක්ලැම්ප්සියා තත්වය භයානක තත්වයකට පත්වන ලකුණු පෙනේ නම් ඔබ රෝහල් ගත කර මෙම තත්වය පාලනය පිලිබඳ විශේෂඥ වෛද්‍යවරයකු/රෝහලක් වෙත යොමු කරනු ඇත.

මෙය වැළැක්වීමට පෙර සිට ගත හැකි පියවර තිබේද?

අවාසනාවකට මෙන් මෙය ඇතිවන තුරු ඔබ නොදන්නා අතර එසේ පෙර සිට නවත්වා ගැනීමේ ක්‍රමයක්ද නිශ්චිතව කිව නොහැක. නමුත් අධික රුධිර පීඩනය ඇතිවීමට සාමාන්‍යයෙන් බලපාන දේවල් පාලනය ඔබට කල හැක. (අඩුවෙන් ලුණු කෑම, කැල්සියම් වැඩියෙන් ගැනීම, විටමින ලබා ගැනීම ආදිය). ඔබට අධි රුධිර පීඩනය ඇතිවන බව වෛද්‍යවරයා හඳුනා ගතහොත් ඇස්ප්‍රින් ආශ්‍රිත බෙහෙත් වර්ගයක්ද නියම කෙරේ. 
ඉතින් ඉහත දැක්වෙන ලෙස ඔබ නිතරම අවදානයෙන් සිටීනම් මෙම තත්වයෙන් ඇතිවන ගැටලුවලට හොඳින් මුහුණ දී දරු උපතේදී සිදුවන අවදානම් අවම කර ගැනීමට ඔබටත් පුළුවන්. අපේ සුභ පැතුම්!

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
Srineth.com