Get Adobe Flash player

ගර්භණී සමයේ අනිවාර්යෙන් කල යුතු පරීක්ෂා

ජීවිත කාලයක් පෙරුම් පුරා බලා සිට උතුම් මවු පදවිය ලැබෙන ලකුණු පහල වෙද්දී ඔබට දැනෙන්නේ කියා නිම කල නොහැකි සතුටක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ඉතින් ඒ සතුට හොඳින්ම විඳගන්න පුළුවන් ඉතා සුපරික්ෂාකාරී මාස 10ක් ගත කර ඔබේ සිඟිත්තා මෙලොවට හඳුන්වාදීමෙන් පමණයි... එම ගමනේදී අනතුරක් ආපදාවක් නොවන්නට කල යුතුම පරීක්ෂණ ගැන අද අපි සාකච්ඡා කරමු...

* ඔබ ගර්භණීභාවයට පත්ව ඇතිද?

මුලින්ම ඔබ දැනගත යුතුයි ගැබ් ගැනීමක් සිදු වෙලාද නැතිද යන්න. මූලික වශයෙන් දකීවි ඔබේ සිරුරේ යම් වෙනස්කම් කිහිපයක්. උදාහරණ ලෙස යෝනි මාර්ගයෙන් සුළු ලේ වහනය වීමක් (spotting), කොර ගතිය (cramping), පියවුරු වල මෘදු ගතිය, නිතර මුත්‍ර පිටකිරීමේ අවශ්‍යතාව, හිස සහ කොන්ද රිදීම ආදියයි. නමුත් මෙම ලක්ෂණ වෙනත් තත්වයන් නිසාද ඇතිවිය හැකියි. එම නිසා ඔබ පැහැදිලිවම දන ගත යුතුයි ඔබත් උතුම් මවු පදවිය ලබන්නට තවත් පියවරකින් ලං වී ඇතිද යන්න.
ඒ සඳහා ඉතා පහසුවෙන් නිවසේදීම කල හැකි පරීක්ෂාවක් තිබෙන බව ඔබ දන්නවාද? එයට අවශ්‍ය කට්ටලය ඔබට බොහොමයක් බෙහෙත් වෙළඳසල් වලින් මිලදී ගත හැකියි. මෙහි ඇත්තේ ඔබේ ශරීරයේ නිපදවෙන HCG - Human Chorionic Gonadotrophin නමැති හෝමෝන මට්ටම අනුව ඔබට ගැබ් ගැනීමක් සිදුවී ඇතිද නැතිද යන්න පෙන්වීමයි. මෙම හෝමෝනය ඔබ ගර්භණී භාවයට පත්වී ඇති විට කළලය මගින් නිකුත්වී මවගේ ශරීරයේ විහිද යයි. ඉන්පසු එය මුත්‍ර වලට එකතුවේ. එනිසා ඔබේ ඔසප් වීම නැවතී සති දෙකක් ගතවන විට උදේම අවදි වූ වහාම මුත්‍ර ස්වල්පයක් පිරිසිදු බෝතලයකට ගෙන මෙම පරීක්ෂාව සිදු කල හැකියි. ඔබ මිලදී ගත උපකරණ කට්ටලයේ ඇති කාඩ්බෝඩ්/කඩදාසි පටිය ගෙන එහි ඇති සලකුණ දක්වා මුත්‍ර සාම්පලයේ ගිල්වන්න. තත්පර 10 පමණ එහි ගිල්වා තබා එලියට ගන්න. මඳ වෙලාවක් බලා සිටින විට ඔබ ගැබ් ගෙන ඇත්නම් එහි ඉරි දෙකක් පෙන්වනු ඇත. ඉන්පසු ඔබට පුළුවන් වෛද්‍ය උපදෙස් අනුව ලේ පරීක්ෂාවක් කරගැනීමට. එමගින් ඔබේ ගර්භනීභාවය තවත් තහවුරු කරගත හැකියි.

* ගර්භාෂයෙන් පිටත ගැබ් ගැනීමක් හඳුනා ගන්නේ කෙසේද?

නම් වෛද්‍යවරයා මුලික ස්කෑන් පරීක්ෂාව කරන විට ගර්භාෂය තුල කළලය ඇතිබව නොපෙන්වයිනම් එය ගර්භාෂයෙන් පිටත ඇතිවූ ගැබ් ගැනීමක්දයි වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍ය වනු ඇත. එහිදී වෛද්‍යවරයා ඔබට beta serum HCG test පරීක්ෂාව කර ගැනීමට උපදෙස් දෙනු ඇත. සාමාන්‍ය ගැබ් ගැනීමකදී ශරීරයේ HCG හෝමෝන මට්ටම දින දෙකක් ඇතුලත දෙගුණ වේ. නමුත් ගර්භාෂයෙන් පිට ගැබ් ගැනීමකදී එය එතරම් ඉහල නොයයි. එවැනි ගැබ් ගැනීමක් ඇතිවීම ගැබ්ගැනීම් 1000කින් 14ක් පමණ වන බවට නිරීක්ෂණය කර ඇත.

* දින දැනගැනීම සඳහා වන අල්ට්‍රා සවුන්ඩ් පරීක්ෂාව යනු කුමක්ද?

මෙය ඉතා වැදගත් ස්කෑන් පරීක්ෂාවකි. සාමාන්‍ය ලෙස ආර්තවය සිදුවන කාන්තාවකගේ වුවද අවසාන ඔසප් දිනය අනුව ගණනය කරන දරුවා බිහිකිරීමට නියමිත දිනය වැරදීමට පුළුවන. නමිත් Dating Scan නමින් හඳුන්වන කළලයේ වයස නිර්ණය කරන ස්කෑන් පරීක්ෂාව මගින් ඔබට නිවැරදි ලෙස දරුවා බිහිවන අනුමාන දිනය දැනගත හැක. එවිට යම් ආකාරයකින් දරුවා බිහිකිරීමට පෙර දැනෙන වේදනාවන් නොදනුනොත්, ඔබට වෙනත් ආකාර මගින ප්‍රසුතිය ඉක්මන් කිරීමට හෝ වෛද්‍ය වරයා විසින් සිසේරියන් ක්‍රමයට බිහි කිරීම හෝ කල හැක. මෙම ස්කෑන් පරීක්ෂාව 10 - 14 වන සති අතර කර ගැනීම ඉතා වැදගත්ය.

* අනිවාර්යෙන් කලයුතු රුධිර පරීක්ෂා මොනවාද?

මුලින්ම ඔබ මවගේ ලේ වර්ගය හඳුනා ගත යුතුය. එවිට හදිසි අවස්තාවකදී ලේ දීමට අවශ්‍ය උනොත් ප්‍රමාදයකින් තොරව නිවැරදි ලේ වර්ගය ලබාදිය හැකිය. ඔබේ ලේ වර්ගය A, B, AB හෝ O නමැති වර්ග වලින් එකකට අයත්වේ. ඉන්පසු එය Rhesus Positive හෝ Rhesus Negative ලෙස නැවත වර්ග කෙරේ. මව Rhesus Negative සහ, දරුවා Rhesus Positive නම් එම ගැබ්ගැනීම සංකුලතා ඇති එකක් විය හැක. එවිට දරු කලලයේ ඇති රුධිරය මවගේ ශරීරයට ඇතුළු උනොත් මවගේ ශරීරයේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය මගින් එය අහිතකර දෙයක් ලෙස සලකා ප්‍රතිදේහ නිපදවා පහර දෙනු ඇත. එවිට දරු කලලයේ ඇති රතු රුධිරානු අඩුවේ. එනිසා Rhesus Negative මවුවරුන් මෙවැනි තත්වයක් ඇතිවීද යන්න බැලීමට 28 හෝ 34 සති වන විට පරීක්ෂාවක් කල යුතුය. එසේ ප්‍රතිදේහ නිපදවෙන බවක් පෙනී ගියොත් නිතරම දරු කළලය වෛද්‍ය අධීක්ෂණයට ලක්විය යුතුය. මෙයට ලබාදෙන එන්නත මිල වැඩි නිසා ලංකාවේ බොහෝවිට සිදුවන්නේ දරු උපත සිදුවන අවස්ථාවේ සිට පය 72ක් ඇතුලත පමණක් මවට ලබාදීමයි. තවත් වැදගත් පරීක්ෂාවක් වන්නේ නීරක්තිය සඳහා වන හිමොග්ලොබීන් මට්ටම පරීක්ෂා කිරීමයි. මවක් නීරක්තියෙන් පෙළෙයිනම්, එයට හේතු සොයා බැලිය යුතුය. වඩාත්ම සුලභ හේතුව වන්නේ යකඩ ඌණතාවයි. එය නිවැරදි පෝෂ්‍යපදාර්ථ සහිත ආහාර වේලක් මගින් හෝ පෙති/සිරප් මගින් මගහරවා ගත හැක. එයට අමතරව වෙනත් හේතු නිසා නිරක්තිය ඇතිවේද යන්නත් සොයා බැලිය යුතුය.

* මුත්‍රා පරීක්ෂාවන් කල යුතුද?

ගර්භණී සමයේ මුල් අවධියේදී විස්තරාත්මක මුත්‍රා පරීක්ෂාවක් කිරීම සාමාන්‍යයයි. ඉන් පසුව වරින් වර ආසාදන ඇතිද යන්න සොයා බැලීම සඳහා කරන මුත්‍රා පරීක්ෂණ ප්‍රමාණවත්වේ. මුත්‍රා සමග සැරව හෝ ප්‍රෝටීන එක්ව තිබීම ආසාදනයක් පිලිබඳ ඉඟි කරයි. මුත්‍රාවල සීනි ඇතිබව පෙන්වුවොත් දියවැඩියාව රෝගයේ ලක්ෂණයක් වන අතර, මෙය සති 24 සිට 28 දක්වා සුලභ වේ. මෙයට හේතුව ඔබේ ගර්භණී සමයේදී ශරීරයේ නිපදවෙන හෝමෝන මගින් සිරුරේ සීනි පාලනය කරන ඉන්සියුලීන් හෝමෝනයට එරෙහිව ක්‍රියාකරන බැවිනි. නමුත් සති 12ට පෙර දියවැඩියාව පවතින බව පෙනී ගියොත් එය ගැබ් ගැනීමට පෙර සිටම තිබු දියවැඩියාව තත්වයක්‌ ලෙස හඳුනා ගත හැක. කුමන ආකාරයේ දියවැඩියා තත්වයක් වුවද නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම අත්‍යවශ්‍ය වේ.

* රුධිර පීඩන පරීක්ෂාව වැදගත් වන්නේ ඇයි?

ගර්භණී සමයේ වරින්වර රුධිර පීඩනය පරීක්ෂා කර ගැනීම ඉතා වැදගත්ය. පළමු මාස 3 තුල අධි රුධිර පීඩනය දැකගත හැකිනම් එය නිධන්ගත අධි රුධිරපීඩන තත්වයක් විය හැක. සති 20න් පසු රුධිර පීඩනය ඉහල යයි නම්, එය ගර්භණී භාවය සම්බන්ධ අධි රුධිර පීඩන තත්වයක් ලෙස හඳුනා ගත හැක. (Pregnancy Induced Hypertension) එනිසා ගර්භණී සමයේ මුල සිට රුධිර පීඩනය මැන බැලීමෙන් ඔබට දැනගත හැකියි රුධිර පීඩනය පෙර සිටම පවතී (නිධන්ගත) තත්වයක්ද නැතිනම් ගර්භණී භාවය නිසා ඇතිවුවක්ද යන්න.

ඉහත දැක්වෙන පරීක්ෂණ නිසි පරිදි සිදුකරගෙන සුදුසුකම් සහ අත්දකීම්ලත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ පසුවීමෙන් ඔබට දරුවා බිහිකිරීමේදී සහ ගර්භනී සමයේදී ඇතිවිය හැකි අපහසුතා බොහොමයක් මග හරවා ගත හැක. 
.................
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!