Get Adobe Flash player

නිවුන් දරුවන් බලාපොරොත්තුවන මවට ඇති අවදානම් තත්වයන්

නිවුන් දරු උපත් ආශ්‍රිත අවදානම් තත්ත්ව දරුවන්ට පමණක් බලපාන කරුණක් නොවේ. එය මව කෙරෙහිද බලපායි. එසේම මවට බලපාන බොහෝ අවදානම් තත්ත්ව නුපන් දරුවා කෙරෙහිද බලපායි. මෙම අවදානම් තත්ත්ව නොමේරු දරු උපත් මෙන්ම මල දරු උපත් වලටද හේතු විය හැක. මෙම ලිපිය ඔබට ඒ පිළිබද වැඩිදුර තොරතුරු සපයයි.
සමහර නිවුන් දරු අවදානම් තත්ත්ව දරුවන් කෙරෙහි පමණක් බලපාන අතර සමහර අවදානම් තත්ත්ව මව කෙරෙහි පමණක්ද, එසේත් නැතිනම් මව සහ දරුවා යන දෙදෙනා කෙරෙහිමද බලපායි. දරුවන් දෙදෙනෙකු දරා සිටීමේදී ඇතිවන ශාරීරික මෙන්ම මානසික අපහසුතා වලට අමතරව නිවුන් දරු ගර්භනී මවක් විවිධ සංකුලතා වලට මුහුණ දේ. සමහර අවස්ථා වල ඇයට ගර්භනී තත්වය තුල ඇති වන පොදු සංකුලතා වුවද ඉතා අවධානම් අපහසු තත්වයක් ලගා කර දිය හැක. එමෙන්ම ගර්භනී බවේ ලක්ෂණ වලට අධිකව මුහුණදීමට සිදු වේ.

* ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියාව

සාමාන්‍ය ගර්භනී මවකට වඩා නිවුන් දරු ගර්භනී මවක් ගර්භනී අවස්ථාවේ ඇතිවන දියවැඩියා තත්වයට මුහුණ දීමේ අවධානම දෙගුණයක් වේ. මෙය දරුවන් දෙදෙනෙකු දරා සිටීම නිසා හෝමෝන නිපදවීම වැඩි වන අතර ඉන්සියුලින් නිපදවීම අඩාල වීම නිසා ඇතිවන තත්වයකි. බොහෝ විට ආහාර පාලනය මගින් මෙම තත්වය පාලනය කල හැක. නමුත් සමහර අවස්ථා වල ඉන්සියුලින් පාලනය කිරීමක් සිදු කල යුතු වේ. දියවැඩියාව සහිත මවගේ දරුවාට සමහර අවස්ථා වලදී ශ්වසන අපහසුතා වලට මෙන්ම උපතේදී ඇතිවන විවිධ සංකුලතා වලට මුහුණ දීමට සිදු වේ. කෙසේ වෙතත් ගර්භනී සමයේ ඇති වන දියවැඩියාව නිවුන් මෙන්ම එක් දරු ගැබිණි මව්වරුනටද පොදු වන අතර ඒ සදහා ප්‍රත්‍යක්ෂ සහ කාර්යක්ෂම ප්‍රතිකාර පවතී. අප මෙයට පෙර ලිපියක ගර්භණී සමයේ දියවැඩියාව පිලිබඳ සාකච්චා කල අතර ඔබ එහි දැක්වෙන ලක්ෂණ දැනෙයි නම් වහාම කායික රෝග වෛද්‍ය වරයකු (Physician) හමුවන්න. ඔබේ නාරී හා ප්‍රසව රෝග වෛද්‍ය වරයාද (VOG) මේ පිලිබඳ දැනුවත් කරන්න.

* කලලබන්ධය සම්බන්ධ ගැටළු

නිවුන් දරුවන් සමහර අවස්ථා වල කලලබන්ධය හවුලෙ බුක්ති විදින අතර සමහර අවස්ථා වල කලලබන්ධ වෙනමම පවතී. නිවුන් දරු ගැබිනි මව්වරු placenta previa (ස්වභාවික ලෙස දරුවා බිහි කිරීමට බාධා පමුණුවන තත්වයක්) සහ placenta abruption (නිසි කලට පෙර වැදෑමහ ගැලවී යාම) වැනි සන්කුලතා වලට පත් විමේ වැඩි අවධානමක් පවතී. කලලබන්ධය සම්බන්ධ ගැටළු නිසා මව ගර්භණි අවදියේ සහ ප්‍රසුථියෙන් පසු රුධිර වහනය වීම් වැනි අවධානම් තත්ව වලට මුහුණ දිමට සිදු විය හැක. සැලකිළිමත් නිරීක්ෂනයන් මගින් මෙම තත්වයන් අවධානම් සහගත වීමට පෙර හදුනා ගත හැක.

* හෘද රෝග

නිවුන් දරු ගැබිණිමවක් සාමාන්‍ය එක් දරු ගර්භනි මවකට වඩා හෘද රෝග වලට ගොදුරු වීමේ අවධානම 12 ගුණයකින් වැඩි වේ. ඔවුනට ගර්භනි සමය තුල හෘදයාබාධ ඇති විමේ අවධානම ඉහල මට්ටමක පවතී. ගර්භණී සමයේ ඔබට ඇතිවන අධික මානසික පීඩනය, දරුවන් දෙදෙනෙකු දරා සිටීමේදී ඔබේ හදවතින් කල යුතු කාර්ය ප්‍රමාණය වැඩි වීම ආදිය මෙයට හේතු ලෙස අනුමාන කරති. නමුත් තවත් බොහෝ සාධක මෙයට බලපෑමට ඉඩ ඇති නිසා, ඔබත් නිසි ලෙස ආහාර පාලනය, මානසික සමතුලිතතාවය, සුදුසු පරිදි ව්‍යායාම ආදිය කරමින් මනා සුවතාවයක් පවත්වා ගැනීමට උත්සාහ කරන්න. අධි රුධිර පීඩනයේ ලක්ෂණ දැනුන වහාම ඔබේ වෛද්‍ය වරයාගෙන් උපදෙස් පතන්න.

* Preeclampsia

මෙම තත්වයෙදී අධි රුධිර පීඩනයත් මුත්‍රා සමග ප්‍රොටින් පිටවිමත් සිදුවේ. සාමාන්‍ය මට්ටමට වඩා මුහුණ සහ අත්පා ඉදිමීම, අධික හිසරදය, ඇස් පෙනීමේ වෙනස්වීම්, උදරයේ අධික වේදනාව, නොනවත්වා බර වැඩිවිම මෙම රෝගයේ ලක්ෂණ වේ. නිවුන් දරුවන් බලාපොරොත්තු වන මවකට මෙම තත්වය ඇතිවිමේ අවධානම එක් දරු මවක මෙන් දෙගුණයකි. මෙයට ප්‍රතිකාර නොගතහොත්, ධූලකරක්තිය (toxemia) හෙවත් ලේ විස වීමේ තත්වයට පත්වී මවට මෙන්ම නූපන් දරුවාටද මරණ තර්ජන ඇති කරයි. සෑම නිවුන් දරු ගර්භනි මව්වරු තුන් දෙනෙකුගෙන් එක් අයෙකු preeclampsia අවදානම සහිත වේ. සමහර අවස්ථා වල විවේකය සහ ඖෂධ ලබා දුන්නද වකුගඩු දුර්වල වීම්, සහ අනෙකුත් හදිසි අබාධ තත්වයන් ඇතිවිය හැකි නිසා සෑම විටම ඉතා සුසුපරික්ෂාකාරී විය යුතුය. මෙම තත්වය ගර්භනී සමයට පමණක් බලපායි. සාමාන්‍යයෙන් දරු ප්‍රසුහියෙන් පසුව කල් පැවතිමකින් තොරව මෙම තත්වය පහව යයි

If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!
මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි!
Srineth.com