Get Adobe Flash player

ගර්භණී සමයේ වමනය සහ උදෑසන අපහසුතා

බොහොමයක් ගර්භණී මවුවරුන් මුහුණ දෙන තත්වයකි උදෑසන අපහසුතාවයන් සහ වමනය. බොහෝ විට එය සාමාන්‍ය සහ අවදානම් නොවන අතර විශේෂ ප්‍රතිකාරයක්ද අවශ්‍ය නොවේ. නමුත් එය උග්‍රලෙස ඔබ අපහසුතාවයට ලක් කරයි නම් කලයුත්තේ කුමක්ද යන්නත්, එහි ඇති බලපෑමත්, සාමාන්‍යයෙන් ලබාදෙන පිළියම් පිළිබඳවත් අපි පහත දක්වමු.

 උදෑසන අපහසුතාවයන් සහ වමනය

ගර්භණී මවුන් 4කින් 3දෙනෙකුටම මෙම තත්වය වැළඳේ. මෙය උදෑසන අපහසුතාවය ලෙස නම්කලත්, දවසේ ඕනෑම වෙලාවක ඇතිවිය හැක. ඔක්කාරය, බද දැඟලීම ආදිය දිනකට පැයක් සහ පැය 4ක් අතර කාලයක් දැනෙමින් පැවතීමට ඉඩ ඇත. නමුත් සමහර යට මෙය ඉතාම දැඩි ලෙස දැනෙන අතර, නිතර නිතර වමනය ඇතිවීම සිදුවිය හැක. බොහෝවිට සති 12ත් 16ත් අතර කාලය අවසන් වන විට මෙම ලක්ෂණ පහව යනු ඇත. මෙම තත්වය ඇතිවීමට හේතුව 100%කම සොයාගෙන නැතත් ගර්භණී සමයේ සිදුවන හෝමෝන ක්‍රියාකාරකම් මෙයට බලපාන බව කියවේ.

වමනය නිසා දරුවාට හානියක් වෙයිද?

සාමාන්‍යයෙන් එය සිදු නොවේ. ඔබ ගන්නා ආහාර වමනය කලත් දරුවා තමන්ට අවශ්‍ය පෝෂණය ඔබේ ශරීරයේ තැන්පත්වී ඇති පෝෂ්‍ය පදාර්ථ මගින් වර්ධනය වේ. වමනය කිරීමේදී ඔබ දරන ආයාසය හෝ ඇදීම දරු ගැබට හානියක් වන්නේ නැත. නමුත් මතක තබාගන්න, වමනය කිරීමෙන් පසු ඔබේ ශරීරයේ ඇති ජාල මට්ටම පහල යාමෙන් ඇතිවන විජලනය දරුවාට හානිකර වෙයි.

ප්‍රතිකාර සහ වෙනත් පියවර

ඉහත දැක්වූ ආකාරයට සාමාන්‍යයෙන් ප්‍රතිකාර අවශ්‍ය නොවේ. නමුත් කුඩා ආහාරවේල් වැඩි ගණනක් ගන්න. කාබෝහයිඩ්රේට බහුල ආහාර ලබාගැනීම ප්‍රයෝජනවත්ය. (පාන්, ක්‍රැකර් බිස්කට් ආදිය) ආහාරවලින් වැලකී සිටීම වමනය සහ අපහසු ගතිය වැඩි කරනු මිස අඩු කිරීමක් සිදු නොකරයි. එනිසා වරින් වර බිස්කට් එකක් දෙකක් ආහාරයට ගන්න. ඉඟුරු විස්කෝතු බොහෝ විට මුවේ ඇති අමිරස නැති කරයි. සමහර අයට වමනය ඇතිවන්නේ යම් සුවන්දවල් දැනීමෙන් වන අතර සමහරුන්ට තම මානසිකත්වය අයහපත් වූ විගස වමනය ඇතිවේ. ඔබට වමනය ඇතිවීමට මුල්වන මෙවැනි දේ හඳුනාගත් වහාම ඒවාගෙන් ඈත්වී සිටීමට කටයුතු කරන්න. ඉහත කී පරිදි විජලනය ඉතා භයානකයි. එම නිසා නිතරම දියර වර්ග පානය කිරීමට අමතක කරන්න එපා. වමනය සහ වෙනත් අපහසුතා පාලනය කරගත නොහැකිනම් සහ එනිසා ඔබේ ශරීර සුවය පිරිහෙනවානම්, වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්න.

වමනය සහ අපහසුතාවයන් ඇතිවන්නේ ගර්භණී බව නිසා පමණක්ම නොවේ!

ඇතැම් අවස්තාවලදී ඔබේ ගර්භණී බවට අමතරව වෙනත් අසනීප නිසාද වමනය ඇතිවිය හැක. එම නිසා ඉතා පරීක්ෂාකාරී වන්න. පාචනය, ලේ වමනය, සම කහ පාටවීම, හිසරදය අධික උණ සහ බද රිදීම සිදුවේ නම් වහාම වෛද්‍ය උපදෙස් පතන්න. ඔබටත් Hyperemesis Gravidarum තත්වය ඇතිවීදැයි වෛද්‍යවරයා විමර්ශනය කර බලනු ඇත. මෙය ඔබගේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වය නිසා සිදුවන බව කියවේ. එවිට ඔබ වහාම විවේක ගත යුතු අතර වෛද්‍ය උපදෙස් මත පාන වර්ග, රුධිරයට ඇතුළු කරන දියර වර්ග ආදිය ලබා දෙනු ඇත.

මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වුනානම් හෝ ඔබේ මිතුරියකට ප්‍රයෝජනවත් වේ යයි සිතනවානම්, කරුණාකර පහත ඇති "recommend" ක්ලික් කිරීමෙන් එය බෙදා හදා ගැනීමට අමතක කරන්න එපා. තවද, මෙම ලිපිය පිළිබඳව ඔබේ අදහස්, යෝජනා සහ අනෙකුත් මවුවරුන්/කාන්තාවන් හට ප්‍රයෝජනවත් වන ඔබේ අත්දැකීම් පහත ලියා තැබීමටද අප ආරාධනා කරමු. ස්තුතියි! 
If you found this article interesting and helpful, please share with your friends too. Just click the "recommend" button below. Also, we welcome your comments, views and experiences to share with other moms and ladies. Thank you!